Yatadola Estate

තේ  ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ආදායම් ගෙනෙන කර්මාන්තය වන නමුත් දේශගුණික විපර්යාස, ශ්‍රම හිඟය ඇතුළු හේතු ගණනාවක් නිසා කර්මාන්තය මේ වනවිට අභියෝග රැසකට මුහුණ දෙමින් තිබේ.

එමෙන්ම අපගේ තේ වගාකරුවෝ  වගාවේ අඩු අස්වැන්න, දරන අධික පිරිවැය සහ කම්කරු හිඟය පිළිබඳ නිරන්තර මැසිවිලි නගති. එහෙත් ඇතැම් වගාකරුවන් නිසි වගා ක්‍රම සහ නව තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව තම වගාව පවත්වාගෙන යමින් වැඩි අස්වැන්නක් හා වැඩි ආදායමක් ලබති.

වියදම අඩුකර ආදායම යම් ආකාරයකට වැඩි කරමින් ප්‍රමාණවත් ලාභයක් තේ වගාවකින් ලබාගැනීම සඳහා සාර්ථකව වගාවක් පාලනය කරගන්නේ කෙසේ ද යන්න තවමත් බොහෝ ගොවීන් නොදනී. තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය තාක්ෂනය සහ දැනුම ගොවීන් අතරට ගෙනයාමට බොහෝ ක්‍රියාමාර්ග ගන්නා නමුත් ඒවා වේගයෙන් ගොවීන් අතර ජනප්‍රිය නොවේ. ඒ වෙනුවට  අධික වශයෙන් රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායන භාවිතය වැනි ජනප්‍රිය පහසු ක්‍රම භාවිතයට ගොවීන්  වැඩි නැඹුරුතාවයක් දක්වයි.

තේ වගාවේ අඩු පලදායීතාවයට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ වගා බිම්වල පවතින පිරිහුණ තත්වයයි. තිරසාර භූමි කළමනාකරණය සහ යහපත් වගා ක්‍රම අනුගමනය කිරීම මගින් මෙම අභියෝග බොහොමයක් ජයගත හැකිය.

මතුගම යටදොල වත්ත තේ වගාවේ තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ තේ වගාව වර්ථමානයේ  මුහුණ දෙන අභියෝග රැසකට විසඳුම් සෙවීම සඳහා උත්සාහ ගන්නා ස්ථානයකි. එහි වතු අධිකාරී ඒ. දේවක ඩයස් සිය වසර ... ක වතු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිලිබඳ නවතම පොත පත කියවීමෙන් ලබාගන්නා දැනුම ඇසුරින් විවිධ අත්හදාබැලීම් සිදුකරයි.

වතුයාය පුරාම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි පසෙහි ඇති ඉහළ කාබනික ද්‍රව්‍ය සංයුතියයි. වගාවේ පවත්වාගෙන යන උස් සෙවන මැදි සෙවන හා ඒවායේ කප්පාදු කොටස් සියල්ලම වත්ත තුලම දිරායාමට සලස්වා ඇත. මැදි සෙවන ග්ලිරිසීඩියා ශාකය මඟින් සපයා ඇති අතර උස් සෙවන සඳහා ඇල්බීසියා ශාක සිටුවා නඩත්තු කරයි. මැදි සෙවන නිරන්තර කප්පාදුවකට ලක් වුවද උස් සෙවන පාලනය කිරීමට අවශ්‍ය වූ විට ශාකයේ පහතින් පොතු වලයක් හැර මැරීමට සලස්වයි. දිරාපත්ව පතිත වන කොටස් වත්ත තුලම දිරායාමට සලස්වන අතර මැරීයන ශාක වෙනුවට සෙවන සැපයීම සඳහා නව වගාවක් ස්ථාපනය කරයි.

මෙහි ප්‍රතිඵළයක් ලෙස පොලොව මතුපිට අර්ධව දිරා ගිය ඝන කාබනික ද්‍රව්‍ය ස්ථරයක් දක්නට ලැබෙන අතර වියලි කාලයේ වුවද එම කාබනික ද්‍රව්‍ය වැසුමට ගැඹුරින් සැලකිය යුතු තෙතමනයක් දක්නට ලැබේ. තේ දළු හැර කිසිදු ශාක කොටසක් වතු යායෙන් පිටතට ඉවත් නොකිරීම ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරන බවත් මගින් වතු යායේ පසේ ගුණාත්මක බව ඉතා ඉහල මට්ටමක පවත්වාගෙන යාමට හේතුවන බවත් ඩයස් මහතා පවසයි.

තේ වගාවට පොහොර යෙදීම ඉතාම වැදගත් කාර්යයක් වනවා මෙන්ම එය තම වගා බිමේ සුවිශේෂී තත්වයන් පිළිබඳව මනා අවභෝධයක් සහිතව කළ යුතුය.  එහෙත් බොහෝ වගාකරුවන් මෙම තාක්ෂණික ක්‍රමවේද මඟහැර පොහොර යෙදීම සිදු කරයි. තිරසාර භූමි කළමණාකරණයේ ඉතා වැදගත් පියවරක් වන පාංශු පරීක්ෂණයකින් අනතුරුව පොහොර හා ඩොලමයිට් යෙදීම යට දොළ වතුයායේ සාර්ථකත්යවයට බලපාන ප්‍රධානතම සාධකයකි. නූතන පොහොර භාවිතයේ ඇති අඩුපාඩුකම් නිසාවෙන් පසට යොදන පොහොර වලින් විශාල ප්‍රමාණයක් සෝදා ඉවත්ව යාම සහ වාෂ්ප වීම නිසා ශාකයට නොලැබී යයි. එයට පිළියමක් ලෙස පොහොර මතුපිට පසට ඉසීම වැනි ප්‍රාථමික මෙන්ම ඉතා අකාර්යක්ෂම ක්‍රම වෙනුවට සරල උපකරණයක් ආශ්‍රයෙන් පසෙහි අඟල් 06 ක් පමණ ගැඹුරට පොහොර යොදනු ලබයි. පොහොර පේලියක් හැර පේලියක් ලෙසින් යොදන අතර පාංශු තෙතමනය ඔස්සේ පොලව තුලින් විසරණය වී අවට පිහිටි තේ පඳුරු වෙත ද උරාගැනීම සිදුවේ. වර්ෂාවත් සමඟ මතුපිට ගලායන ජලයෙන් පොහොර සේදී ඉවත්වීම හෝ වාෂ්ප වී යාම මෙම ක්‍රමය මගින් අවම කරයි.

මෙහි අනෙක් වැදගත් නව්‍යතාවය වන්නේ පොහොර ප්‍රධාන යෙදුම් වාර 02 කට සීමා කිරීමයි. පොහොර යෙදීමේ ඉහත ක්‍රමවේදයත්, පොලොවේ පවතින අධික කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයත්, එමඟින් රැකගන්නා තෙතමනයත් නිසා වගාවට යොදන පොහොර ඉතා කාර්යක්ෂම ලෙස ශාකයට ලබාදීම සිදු කරයි. පොළොව මතුපිට පොහොර විසි කිරීම සහ මෙම ක්‍රමයේ පවතින ඉහළ වෙනස නිසාවෙන් යොදන පොහොර ප්‍රමාණය සීමා කළ හැකිය. එමෙන්ම බොහෝ වගාකරුවන් වසරකට 4 වතාවක් වගාවට පොහොර යෙදීම මඟින් මුදල් අපතේ යාම, ශාකයට පොහොර විෂ වීම, අධික වශයෙන් පොහොර යෙදීම නිසා ශාක මූල පද්ධතිය මනාව වර්ධනය නොවීම හා නයිට්‍රජනීය පොහොර වාෂ්පීභවනය නිසා හරිතාගාර ආචරණයට දායක වන වායු නිපදවීම වැනි හානි සිදු වේ.

මෙහි දී පොහොර යොදන වාර ගණන සහ පොහොරවල රසායනික සංයුතිය ද වැදගත්වේ. මාර්තු - අප්‍රේල් කාලයේ එක් පොහොර වාරයක්ද, සැප්තැම්බර්-ඔක්තෝම්බර් කාලයේ අනෙක් පොහොර වාරය ද වගාවට යොදයි. මෙයට අමතරව අඩු නයිට්‍රජන් සාන්ද්‍රණයක් යටතේ ජූනි මස එක් පොහොර යෙදීමක් ද සිදු කරයි. ඉදිරියේ වියලි කාලගුණයක් බලාපොරොත්තුව තිබිය දී පසට පොහොර යෙදීම මෙම වගාව තුල අනුමත නොකරයි. එලෙස පොහොර යෙදීම මඟින් තේ ගසෙහි මෘදු වන පටක, එළඹෙන වියලි කාලගුණයට ඔරොත්තු දීමට නොහැකි බව  ඩයස් මහතා පවසයි.

තේ වගාව වියලි කාලයේ මනා සෞඛ්‍යයකින් පවත්වා ගැනීම එය තෙත් කාලය තුල හොඳ අස්වැන්නක් ලබාදීම සඳහා කරන පෙරහුරුවකි. ඒ සඳහා වියලි කාලයේදී ඔවුන් තේ වගාවේ පත්‍ර මතට ජීව දියර පොහොරක් ඉසිනු ලබයි. මෙම ජීව දියර පොහොර මුළුතැන්ගෙයි ද්‍රව අපද්‍රව්‍ය බැරලයක් තුල පැසීමට හැරීම මඟින් නිපදවා ගනී. එය අවශ්‍ය ආකාරයට තනුක කර ඉසීමෙන් දිලිසෙන මාංසල පත්‍ර සහිත වියලි කාලගුණයට ඔරොත්තු දෙන තේ වගාවක් නිර්මාණය කරගත හැක.

ඉහළ කම්කරු කුලිය මෙන්ම කම්කරු හිඟය අද සෑම වගාවකම විශාල ගැටළුවකි. බොහෝ වගාවන් අසාර්ථකව ඇත්තේ ශ්‍රමිකයන් හිඟකම, ඒ සඳහා යන අධික වියදම මෙන්ම කාර්යක්ෂම සේවයක් ලබාගැනීම සඳහා පුහුණු ශ්‍රමිකයන් නොමැති වීමයි.

මෙම ගැටළුවට පිළිතුරු සෙවූ ඔවුන් අද වන විට එයට විසඳුම් සොයා ඉතා ඉහලින් එය ජයගෙන ඇත. තේ දළු නෙලීම සඳහා යන්ත්‍ර යොදා ගැනීම ඉතා සාර්ථක බව ඩයස් මහතා පවසයි. පුහුණු ශ්‍රමිකයෙකු දිනකට තේ අමු දළු කිලෝ 40 ක් පමණ නෙලනු ලබයි. මෙලෙස වගාවේ සියළු දළු නෙලීම සඳහා ඔවුනට වැයවන ශ්‍රමික හිඟයට පිලියමක් ලෙස ඔවුන් දළු නෙලීම වත්තේ යම් කොටසක යන්ත්‍රානුසාරයෙන් සිදු කරනු ලබයි. මෙම යන්ත්‍රය භාවිතා කර දිනකට එක් ශ්‍රමිකයෙකුට දළු කිලෝ 250 ක් පමණ නෙලිය හැකි බව ඔවුන් පවසයි. එමඟින් ශ්‍රමික හිඟයට පිළියමක් ලැබී ඇති අතර කළමණාකරණය දෙසින් විශාල පිරිවැය ඉතිරියක් ද කල හැක. එලෙසම යාන්ත්‍රිකව නෙලනු ලබන දළු ඉහළම ප්‍රමිතියෙන් යුක්ත වේ. යන්ත්‍ර මඟින් දළු නෙළිමේදී කම්කරු හිඟය ඔස්සේ ප්‍රමාදවන දළු මුරය නිසා අපට අහිමි වීමට නියමිත අස්වැන්න යන්ත්‍ර මඟින් ආපසු ලබාගත හැකි අතර එය අමතර වාසිදායක තත්ත්වයකි.

යන්ත්‍ර මඟින් දළු නෙලීමේදී දළු අඩුවන බවට පවතින මතය ප්‍රතික්ෂේප කරන ඔහු තේ ඉතා හොඳින් පුහුූණ කළ හැකි ශාකයක් බැවින් එය කෙටි කලකදී යන්ත්‍ර මඟින් දළු නෙලීමට හුරුවන බව පවසයි. එලෙසම යන්ත්‍ර මඟින් දළු නෙලීමෙන් හානි වන යම් දළු අස්වැන්නක් ඇතිනම් එය නිරවද්‍ය කිරීමේ ක්‍රමය ඔහු මෙලෙස පෙන්වා දෙයි.

“තේ ශාකයේ දළු අස්වැන්නෙන් 60% ක් ශාකයේ මධ්‍යයෙන් සපයයි. යන්ත්‍ර මඟින් නෙලීමේ දී නෙලිය නොහැකි පර්යන්ත 40% ලබාගැනීම සඳහා පැල ගහනය වැඩි කරන තේ වැටි ලෙසින් සිටුවීම ඔහු යෝජනා කරයි. තේ ගසෙහි අඩි 2 ක විෂ්කම්භය ඵලදායි නිෂ්පාදන ප්‍රදේශය වන අතර මෙම ක්‍රමය තුළින් නිෂාපාදන ප්‍රදේශය උපරිම කරනු ලබයි.

ඔහුගේ නවතම පර්යේෂණය ලෙස අක්කරයකට තේ පැළ 13,100 ක් සිටුවමින් ඔහු උත්සාහ කරන්නේ මසකට අක්කරයකින් තේ දළු කිලෝ ග්‍රෑම් 2000 ක නිෂ්පාදන ඉලක්කයක් සඳහායි. සාමාන්‍ය ගොවියෙකු අක්කරයකින් මසකට දළු කිලෝ ග්‍රෑම් 200 සිට 1000 අතර ප්‍රමාණයක් විවිධ කළමණාකරණ තත්ත්ව යටතේ ලබාගනී. ඉතා අල්ප පිරිසක් කිලෝ දහසෙහි සීමාව අසලට පැමිණ ඇත. බොහෝ අය මසකට අක්කරයකින් කිලෝ 500 ට අඩු තේ දළු ප්‍රමානයක් ලබාගනී.

එපමණක්ද නොව පරණ තේ වගාව කප්පාදු කිරීමේ නවතම ක්‍රමයක් ඔහු ක්‍රියාත්මක කරයි. සාම්ප්‍රදායිකව අප ගොවියා තේ ගසේ ඉතා පහළින් (අඩියක පමණ උසකින්) කැපීමට පුරුදුව ඇති අතර එමඟින් විශාල අතු ප්‍රමාණයක් වගාවට අහිමිව යයි. ඔහුගේ ක්‍රමය අනුව කප්පාදු උස වැඩි කිරීම මඟින් කුඩා අතු විශාල ප්‍රමාණයක් ඉවත්වීම වැලකී යයි. වගාව ඉතා පහතින් කැපීම නිසා අළුත් දළු ලියලා දළු තලය සකසා ගැනීමට විශාල කාලයක් මෙන්ම වෙහෙසක් දැරිය යුතුය.  මෙම ක්‍රමය මඟින් කප්පාදු වගාව මාස 04 ක පමණ කාලයකින් යථා තත්ත්වයට පත් කරගත හැකිය.

මෙහි කප්පාදු උස පොළොවේ සිට අඟල් 24 සිට 26 දක්වා වන අතර පැන්සලයක ඝනකමට අඩු පඳුරේ ඉතිරි වනු අතූ ඊලඟ කප්පාදුවේදී හොඳින් මහත්ව තිබෙනු නිරීක්‍ෂනය කර ඇත. මෙවැනි කප්පාදු වට 3 කට පමන පසු පූර්ණ කප්පාදුවකට ගමන් කරයි. එමෙන්ම මෙමඟින් තේ වගාවේ ද්විතීයික අතු සඳහා වන කඳ ගුල්ලාගේ හානිය අඩු වීමක් නිරීක්‍ෂනය කරන අතර වඩා ඉහල අතු  සඳහා හානි සිදු කරයි.

අළුතින් තේ ක්ෂේත්‍රයක් සිටුවීමේදී තෙතමනය, සංරක්ෂණය, සරුභාවය, නඩත්තු කිරීම හා සෙවන පාලනය සඳහා සිටවූ තේ පැළ අතර ක්‍රොටලේරියා :ක්‍රදඒක්රස්* හා ටෙප්‍රොසියා :ඔැචරදජස්* වගා කරනු ලබයි. මෙමඟින් ජල සංරක්ෂණය වියලි කල වායු ගෝලීය ස්වාරක්ෂණය හා පසට නයිට්‍රජන් හා අතිමහත් කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් එක් කිරීම සිදු කරනු ලබයි. තේ පේලි අතර ක්‍රොටලේරියා ඇට පේළි වශයෙන් දමා වර්ධනය වීමට හැර කිහිප වරක් කපා දමන අතර ඒ අතරතුරේදී සෙවන ශාක ලෙස බිමෙහි සිටවූ ග්ලිරිසීඩියා හා ඇල්බීසියා ශාක වැඩීමට සලස්වයි.

 

මේ සියල්ලට අමතරව ඉතා අධික වියලි කාලයක් උදාවුවහොත් කෘත්‍රිම ජල සැපයුමක් ලබාදීමේ යාන්ත්‍රණයක් සියළු තේ වගා ක්ෂේත්‍ර හරහා ඉදිකොට ඇත. ඒ සඳහා වතු යාය හරහා ගලායන කුඩා ජල පහරක් හරස් කර ජලය රඳවා තබා ගැනීමේ ක්‍රමයක් ද සකසා තිබෙනු දැකිය හැකි විය.

Category: